Wednesday, March 5, 2014

සාහිත්‍යය හා කලාවට අනගි සේවයක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

වසරක් නිහැඬියාවකින් පස්සේ ඔන්න මම ආයෙත් බ්ලොග් ලියන වැඩේට බැස්සා. ලියන්නේ මොනවද කියල කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් වුනේ මේ අවුරුද්දේ 100 වන ජන්ම දිනය යෙදෙන එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා.

"එදිරිවීර සරච්චන්ද්‍ර" මහතා බොහෝදෙනෙක් දන්නේ ඒ නමින් උනාට එතුමාගේ මුල් නම එය නොවෙයි. එතුමා 1914 ජූනි මස 3 වන දින උපත ලැබුවේ  "වැදිතන්ත්රිගේ ඉයුස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා" යන නමින්. එතුමාගේ පියා චාල්ස් ප‍්‍රැන්සිස් ද සිල්වා මහතා (තැපැල් ස්ථානාධිපතිවරයෙක්) වූ අතර මව ලිසියා මොරගොඩ මහත්මියයි. එතුමා මුල් කාලයේ දී හැදී වැඩුණේ ක්‍රිස්තියානි පසුබිමක වූවත් පසු කාලයේ දී එතුමාගේ "මනමේ" නාට්‍යය වැනි නිර්මාණ සඳහා මුල් වූවේ බෞද්ධ ජාතක කතාවක් වන චුල්ල ධනුද්දර ජාතක කතාවයි.

පියාගේ සේවා අවශ්‍යතා අනුව කුඩා කාලයේ දී රට පුරා විවිධ පාසල් වල මූලික අධ්‍යාපනය ලැබීමට සිදු වුනත් එතුමා හොඳින් ඉගෙන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා. එහිදී එතුමා ප්‍රථම උපාධිය සඳහා පාලි, සංස්කෘත සහ සිංහල භාෂාව හදාරා පළමුවන පන්තියේ සාමාර්ථයක් සහිතව උපාධිය සම්පූර්ණ කළා. ඉන්පසු එතුමා ශ්‍රී ලංකා සිවිල් සේවා විභාගයට පෙනී සිට එයින් ද උසස් ලෙස සමත් වූවා. 

Prof. Ediriweera Sarachchandra (Image from Wikimedia Commons)

1940 ගණන්වල මුල් භාගයෙදී එතුමා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉන්දියානු සංගීතය හදාරා නැවත ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවයට එක වුණා. ඉන් අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් 1944 වසරේ පශ්චාත් උපාධිය ද ලබාගත්තා. මේ කාලයේ එතුමා සිංහල ශබ්ද කෝෂයේ සහකාර කතුවරයෙක් ලෙසත් කටයුතු කළා සේම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ (පේරාදෙණිය මණ්ඩපය) කතිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කළා. 
 
1956 වසරේ දී එතුමා නිපදවූ මනමේ නාට්‍යය එළිදැක්වීම ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ නව මාවතක් විවර කිරීමක් ලෙස සැලකෙනවා.බෞද්ධ ජාතක කතාවක් වන චුල්ල ධනුද්දර ජාතකය ඇසුරින්, නාඩගම් කලාවේ ආභාෂයෙන් මෙය නිර්මාණය වුණා. ඉන්පසුව 1961 වසරේ එතුමාගේ තවත් සුප්‍රකට නිර්මාණයක් වන "සිංහබාහු" නාට්‍යය එළිදැක්වුණා. එතුමාගේ තවත් සුවිශේෂී නිර්මාණ කිහිපයක් ලෙස "මහාසාර", "වෙල්ලවැහුම්",  "පබාවතී"  යන නාට්‍ය දැක්විය හැකියි.

නාට්‍ය නිර්මාණයට පමණක් සීමා නොවූ සරච්චන්ද්‍ර මහතා "මළගිය ඇත්තෝ", "මළවුන් ගේ අවුරුදු දා" වැනි නවකතා ද රචනා කල අතර එත්ගුමාගේ හැකියාවන් අගය කරමින් 1988 වසරේ පිලීපීනයේ "රමොන් මැග්සේසේ" සම්මානය ද ප්‍රදානය කරනු ලැබුවා. තවද ඉන්දියාවේ කේරල ප්‍රාන්ත රජය විසින් ද එතුමාට සම්මානයක් (Kumaran Asian World Prize - 1983) පිරිනැමුවා.

මෙලෙස සම්මාන, උපාධි, රැසකින් පිදුම් ලත් සරච්චන්ද්‍ර මහතා 1974 වසරේ සිට 1977 දක්වා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කළා.   

මෙලෙස හැකියාවන් රැසකින් හෙබි මෙතුමා 1996 වසරේ අගෝස්තු මස 16 වන දින අප අතරින් නික්ම ගියා.

Tuesday, February 5, 2013

නොබෙල් සාහිත්‍ය සම්මාන දිනූ පළමු චීන ජාතිකයා : මෝ යැන්

අද මම කියන්න යන්නේ පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ මෝ යැන් ගැනයි. ඔහු තමයි නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබූ (චීනයේ වාසය කරන ) පළමු චීන ජාතිකයා. වසර 2000 දී ගඕ ෂිංජියැංග් (Gao Xingjian ) නමැති චීන ජාතිකයා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවත් ඔහු චීනයේ ඉපිද ප්‍රංශයට සංක්‍රමණය වූ අයෙක්.

චීන සාහිත්‍යය ගැන ලෝකය පුරා ප්‍රචලිත ව තිබුණත්, මෑත කාලයේදී ලෝක වාසීන් චීන සාහිත්‍ය
ගැන උනන්දු වන්නට පටන් ගත්තේ මෝ යැන් නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගයි.


                                       Mo Yan - Image From  Wikimedia Commons

මෝ යැන් කියන්නේ ඔහුගේ අන්වර්ථ නාමයයි. එහි තේරුම චීන බසින් "කතා නොකරන්න" (Don't speak) යන්නයි.ඔහුගේ සැබෑ නම තමයි ගුවෑන් මෝ (Guan Moye). ඔහු ඉපදුනේ 1955 වසරේ චීනයේ ෂැංඩොන්ග් (Shandong) ප්‍රදේශයේ ගාවොමී (Gaomi) කියන පිටිසර ගම්මානයේයි.

අද වන විට ඔහු ලෝක ප්‍රකට චරිතයක් වුනත්  ඔහුගේ ළමා කාලය නම් ඒ තරම් සුන්දර එකක් වුනේ නැහැ. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම කලේ ගොවිතැන. පවුලෙ අගහිඟකම් නිසාම මෝ යැන් ට වයස අවුරුදු 12ක් වෙද්දී ඔහුගේ පාසැල් ගමන නතර වුනා.

පුංචි කාලයේ සිටම ඔහුට පොත් කියවීමට දැඩි ඇල්මක් තිබුනා. පාසල් ගමන අතරමග නැවතුනත් ඔහුගේ පොත් කියවීමේ රුචිය නම් අඩු වුණේ නැහැ. ඇතැම් අවස්ථා වල ඔහුට පොත් මිලදී ගන්නට මුදල් නැති වුණා. ඒත් ඔහු සැළුණේ නැහැ. පොත් ගන්නට මුදල් නොමැති වූ විට, ඔහු ගමේ අයගේ කුඹුරු වල වැඩ කරලා ඒ වෙනවට ගාස්තුව ලෙස පොත් ගන්නට කුඹුරු හිමියන් එකඟ කරවා ගත්තා. පුලුවන් තරම් පොත් කියවලා අවසානයේ ඔහුට කියවන්නට පොතක් නොමැති වුණාම ඔහු චීන ශබ්ද කෝෂ පවා කියෙව්වා. ඔහු ශබ්ද කෝෂ කියවූ වාර ගණන කොතෙක් ද කියනවා නම් ඔහු ට ඒවායේ වැරදි පවා සොයා ගන්නට හැකි වුණා.

ඔහු තරුණ වියට එලඹුණු පසු 1976 දී ඔහු සුප්‍රකට චීන රතු හමුදාවට (People's Liberation Army) බැඳුනා. ඒ වන විටත් ඔහුගේ විනෝදාංශය වූයේ පොත් කියවීම. මේ කාලය තුල ඔහුට ලෝක ප්‍රකට ගත් කතුවරුන් වන ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සහ විලියම් ෆෝක්නර් වැන්නන් ගේ කෘති වල පරිවර්තන කියවීමට ලැබුනා. රතු හමුදාවේ ඉන්න කාලය අතරතුරදී ඔහුගේ මුල්ම කෘතිය වන "Falling Rain and Spring Night" එළිදැක්වුණා. ඒ 1981 වසරේ දී.

චීන හමුදවේ කලා පාසලෙන් ඔහු උපාධිය පවා ලබා ගත්තා .එමෙන් ම පසු කාලයක දී බෙයිජින්ග් විශ්ව විද්යාලයෙන් සාහතිය අංශයේ ශාස්ත්‍රපති උපාදියත් සම්පූර්ණ කර ගත්තා.

දැනට 57 වන වියේ පසුවන මෝ යැන් ගේ කතා බොහෝමයක් ගෙතී ඇත්තේ චීන ගැමි දිවිය සහ ජනකතා සමග ඉන්ද්‍රජාලික සිදුවීම් මුසු වීමෙනුයි. ඔහුගේ වඩාත්ම ජනප්‍රිය පොත තමයි "රතු සෝගම්" (Red Sorghum Clan). මෙම කෘතියේ කියවෙන්නෙ 1925 ත් 1976 ත් අතර තුර කාලයේ දී ෂැංඩොන්ග් ප්‍රදේශයේ ජීවත් වූ පවුලක පරම්පරා කිහිපයක් ගැනයි. එහි කතාපුවත සිනමාවට පවා නැගුණා. මෝ යැන් ගේ තවත් සුවිශේෂී කෘතීන් ලෙස 1988 දී ප්‍රකාශයට පත් වූ "The Garlic Ballards", 2010 දී පළ වූ "Change" දැක්විය හැකියි.

මෝ යැන් ට නොබෙල් ත්‍යාගය හිමි වීමත් සමගම ඔහුගේ කෘති වලට දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන්නා සේම ඔහුගේ කෘති ඉලෙක්ට්‍රොනික සංස්කරණ බවට හැරවීමට දුරකතන සහ අන්තර්ජාල සේවා සමාගම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා. එමෙන්ම ඔහුගේ කෘතීන් සිනමාවට එක් කිරීමට ලෝක ප්‍රකට චිත්‍රපට සමාගම් පවා කැමත්ත පළකොට අති බව අසන්නට ලැබුණා

Tuesday, January 8, 2013

නේපාලයේ ෂර්පාවරුන්ට "බුරා සහීම්" වුණු ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි

මෙම ජනවාරි 11 දිනට යෙදෙන සර් එඩ්මන්ඩ් හිලරි ගේ පස් වන ගුණ සමරුව  වෙනුවෙන් මේ ලිපිය ලියන්නට සිතුනා.

අපි හැමෝම දන්නවා සර් එඩ්මන්ඩ් හිලරි ලෝක ප්‍රසිද්ධ වුනේ ලොව උසම කන්ද වන හිමාලය අඩවියේ එවරස්ට් කඳු මුදුන මුල් වරට තරණය කිරීමෙන්. සර් හිලරි මේ හපන්කම කළේ 1953 වසරේ මැයි 29 වන දා, ටෙන්සිංග් නෝර්ගේ නැමති ෂර්පාවරයා සමගයි.


 
සර් හිලරි සහ ටෙන්සිංගේ මේ හපන්කම ගැන හැමෝම කතා කළත් සර් හිලරි වෙතින් ෂර්පාවරුන්ට සිදුවූ සේවාව, එනම් තමාට ලෝක වාර්තාවක් තැබීමට උදව් කළ කඩිසර, අතිදක්ෂ එහෙත් නොදියුණු ජන කොට්ටාසයකට ඔහුගේ "කළගුණ සැලකීම" ගැන කතා නොකරන තරම්. මගේ මේ ලිපියේ අරමුණ ඒ ගැන තොරතුරු බිඳක් ඉදිරිපත් කිරීමයි.
 
සර් හිලරි ගේ සිතේ ෂර්පා වැසියන් ගැන පැවතුනේ පුදුමාකාර ලෙංගතුකමක්. ඔහු තමන්ගේ දෑසින්ම දුටුවා ඔවුන්ට තිබුණු දුෂ්කරතා මොනවාද කියලා. ෂර්පාවරුන්ට හරියාකාර මංමාවත් තිබුනේ නැහැ. ඒ වගේම බොන්නට පිරිසිදු ජලය පවා තිබුනේ නැහැ. සර් හිලරි දැක්කා දිනපතාම ෂර්පා කාන්තාවන් වතුර ගෙනෙන්නට සැතපුම් ගණන් පයින් ඇවිද යන ආකාරය. ඔහු නිතරම සිතුවේ මේ ගැටලු විසඳන්නට ඔහුට කළ හැක්කේ කුමක් ද කියායි.
 
මේ වෙනුවෙන් ඔහුට කළ හැකි දේ කරන්නට ඔහු මුල් පියවර තැබුවේ හැටේ දශකය මුල දී "හිමාලයානු පදනම" (The Himalayan Trust) පිහිටුවීමෙන්. ඒ හරහා ඔහු ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන හා එක්වී ඔහු ම්ංමාවත් පිළිසකර කෙරෙව්වා. පානීය ජල පහසුකම් ඉදි කළා. එසේම ඔහුගේ මව් රට වුණු නවසීලන්තයේ ඔහුගේ මිතුරන් මෙන්ම ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල සුබ පතන්නන් ගෙන් මූල්‍ය සහ ද්‍රව්‍යමය උපකාර ලබා ගත්තා. මේ විදියට ඔහුට හැකි උපරිමයෙන් යටිතල පහසුකම් දියුණු කළා.
 
සර් හිලරි එයින් නැවතුනේ නැහැ. ෂර්පා ජාතික පාසල් යන වයසේ දරුවන් වෙනුවෙන් සුදුසු පාසලක් තිබුනේ නැති නිසා ඔහු තම මිතුරන් හරහා මුදල් සොයා ගෙන 1962 වසර අවසානය වන විට හිමල කඳු පාමුල කුම්ජුංග් (Khumjung School) යන ස්ථානයේ පාසලක් ඉදිකළා. ඔහුගේ එම ක්‍රියාව ෂර්පා දරුවන්ගේ නුවණ පෑදීමට ලොකු උපකාරයක් වුනා. ඔහු එතැනින් නොනැවතී මෙහි පාසලට එන ගුරුවරුන්ට තමන්ගේ වියදමින් දුෂ්කර සේවා දීමනාවක් පවා ගෙව්වා. මෙම පාසල් වලින් දක්ෂ සිසුන් තෝරාගෙන ඔවුන්ට උසස් අද්‍යාපන ශිෂ්‍යත්ව  සකස් කර දුන්නා.
 
 
Khumjung School - Nepal (Image taken from here)
 



එපමණක් නොවේ, සර් හිලරි ෂර්පා ජාතිකයන් ගේ සෞඛ්‍ය තත්වය උසස් කරන්නට 1966 දී කුන්ඩේ නගරයේ (Kunde) රෝහලක් ඉදි කළා. ඒ සඳහා නවීන පහසුකම් ලබාදුන්නා. ඔහුගේ නොපසුබට උතසාහයේ ප්‍රතිපලයක් විදියට ඇතම් බටහිර වෛද්‍යවරු පවා ස්වෙච්ඡාවෙන් මෙම රෝහලේ සේවයට ආවා. සර් හිලරි මෙම රෝහල මගින් ෂර්පාවරුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දුන් අතරේ ම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළා. ඒ සමගම ඇතැම් බෝවන රෝග යක්ෂයා විසින් ඇති කරන්නේ යයි සමාජයේ තිබුණු මිත්‍යා මත දුරු වුණා.

 
 
සර් හිලරිගේ මෙම සමාජ සේවා කටයුතු හේතුවෙන් ෂර්පා ජාතිකයන් අදත් ඔහු ට ගරු කරනවා. ඒ නිසාම ඔවුන් ඔහුව අමතන්නේ "බුරා සහීම්" (ලොකු මහත්තයා) යන නමින්. එමෙන්ම 2008 වසරේ ඔහු මෙලොව හැර ගිය ජනවාරි 11 වන දින ඔහුගේ මව් රට වුණු නවසීලන්තයේ ජනතාව පවා ජාතික කොඩිය අඩකුඹු කිරීමෙන් ඔහුට ගෞරවය පුද කළා.
 


Monday, December 24, 2012

ලොව වටා මැතිවරණ හා බැඳි සුවිශේෂී තොරතුරු

ටික කාලෙකට පස්සෙ ඔන්න මම ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. අද මම ලියන්න යන්නෙ ලොව වටා මැතිවරණ හා බැඳුනු විශේෂ තොරතුරු ටිකක්.
 
මැතිවරණ ගැන කියනක්කොට මෑතකදි වැඩිපුරම කතා බහට ලක් වුනේ ජපානයේ තිබුණු මහ මැතිවරණය සහ අමෙරිකාවේ ජනාධිපතිවරණයයි. නමුත් මගේ සටහන ඒ ගැන නොවේ.
මැතිවරණ, නො එසේ නම් ඡන්ද ගැන කතා කරනකොට මුලින් ම මගේ මතකයට එන්නෙ අපෙ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව තමයි බහු පක්ෂ ක්‍රමය අනුව ඉහලම ඡන්ද දායකයන් ගණනක් සිටින රට. උදාහරණයක් විදියට 1991 වසරේ ඉන්දියාවේ ලෝක් සභාවට ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරාගැනීමට පැවති මහා මැතිවරණයේ දී ඡන්ද දායකයන් 315439908 ක්  (තිස් එක් කෝටි පනස් හතර ලක්ෂ තිස් නමදහස් නමසිය අටක්) ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවා.
 
 
S. W. R. D. Bandaranaike - Image from luisgranados.com
 
මැතිවරණයකට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙක් ම උත්සාහ දරන්නෙ ජයගන්නයි. ඇතම් අය ජයග්‍රහණය ලබන්නේ වාර්තා පිට වාර්තා තබමින්. වාර්තාගත ජයග්‍රහණ වලට හොඳ ම උදාහරණය විදියට මගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාවේ සිවු වන අගමැති තුමා වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක මැතිතුමාව. එතුමා තමයි මැතිවරණ කොට්ටාසයක ප්‍රකාශිත වලංගු ඡන්ද ගණනින් වැඩිම ප්‍රතිශතයක් ලබා ගෙන තියෙන්නේ. ඒ 1956 දී අත්තනගල්ල මැතිවරණ කොට්ටාසයෙන් මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 91.82% ක් ලබා ජය වාර්තා කිරීමෙන්.
 
ඒ වගේම අපේ අසල්වැසි ඉන්දියාවේ 1962 වසරේ පැවති මහා මැතිවරණයෙන් ඉහලම වැඩි ඡන්ද ගණනකින් ජයිපූර් ආසනය ජයගත් සුප්‍රකට ගයාත්‍රී දේවි මැතිණිය ගැනත් මෙහිදී සඳහන් කල යුතුයි. 60 දශකයේ දී මෙය ලෝක වාර්තාවක් විදියට පැවතුණත් 1977 වසරේ බිහාරයේ හජ්පූර් අසුන ජයගත් රාම් දිලෝන් මහතා විසින් එම වාර්තාව බිඳ දැමුවා.
 
 
 
ලෝකයේ පැවති මැතිවරණ වලින් ඉතාම තියුණු තරඟයක් පැවති මැතිවරණය ලෙස වාර්තා ගත වී ඇත්තේ වර්තමාන ටැන්සානියාවේ කොටසක් වන සැන්සිබාරයට අයත් පෙම්බා දූපතේ 1961 දී පැවති මැතිවරණයයි. එම ආසනය ජයගත් අපේක්ෂකයා ජය ගත්තේ වැඩි ඡන්ද එකකින් !!!
 
දැන් අපි නැවතත් ශ්‍රී ලංකාව පැත්තට හැරෙමු. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වැදගත් ම සිද්දිය තමයි 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීම. වරප්‍රසාද ලැබූ සීමිත පිරිසකට පැවති ඡන්ද බලය බහුතරයකට ලැබුනාට පස්සෙ තිබුන ප්‍රථම ඡන්ද විමසීම තිබුණේ 1931 ජුනි 29 වෙනිදායි. ඒ මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 50 ක් තෝරා ගැණුනා. එම මැතිවරණයෙන් රුවන්වැල්ල ආසණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තිරී පත් වුනේ ජේ. එච් මීදෙනිය මහතායි. එතුමා තමයි වර්තමාන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ මව් පස මුත්තණුවන්. නමුත් අවාසනාවන්ත විදියට එතුමා මාස කිහිපයක් ඇතුලත මිය පරලොව යෑම නිස 1931 නොවැම්බර් 14 දින අතුරු මැතිවරණයක් පැවත්වුනා. එම මැතිවරණයෙන් හිස් අසුනට තේරී පත් වුනෙ එතුමාගේ දියණිය වන ඇඩ්ලින් මොලමුරේ මැතිණියයි. රාජ්ය මන්ත්‍රණ සභාවට එක් වූ ප්‍රතම කාන්තාව ලෙස ඇය ඉතිහාස ගත වනවා.
 
මූලාශ්‍ර :-
 
1. Gunawardena, C. A., The Encyclopaedia of Sri Lanka, 2006 Edition (New Dawn Press).
 
 
 

Sunday, November 4, 2012

නාඳුනන මිතුරා

ඕන්න ඉතින් මගේ මුල්ම පෝස්ට් එකෙන් හා හා පුරා කියලා මම කියන්න යන්නෙ ප්‍රසිද්ධ ඉංග්‍රීසි සඟරාවක් කියවද්දි දැකපු කතාවක්. බලන්න, මේ සිදුවීමෙත් අපිට හිතන්න දෙයක් තියනවා නේද කියලා

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එක්තරා වැන්දඹු කාන්තාවකට. ඉතින් ඔන්න මෙතැන් සිට කතාව ඇයගේ වචන වලින් ම ....

"අවුරුදු කීපයකට පෙර තමයි මම වැන්දඹුවක් වුනේ. ඒ වෙනකොට මගේ වයස යන්තම් 50 ක් පසු වුනා විතරයි. "මගේ ස්වාමි පුරුෂයා නැති වුන දිනයේ ඉඳන්, මාස කීපයක් ගත වන තුරාවටම මගෙ මිතුරු මිතුරියෝ මාව බලන්න අවා. තනි වෙලා හිටිය මට සවියක් ඒ අයගෙන් වචනයෙන් වාගේ ම ක්‍රියාවෙනුත් ලැබුනා. සැමියා ගේ අකල් මරණයෙන්  සිවු මසකට පස්සෙ දවසක මට රාත්‍රී කෑම වේලකට ඇරයුමක් ලැබුනා.මමත් ඉතින් යම්දෝ නොයම්දෝ කියල දෙගිඩියාවෙන් ඉඳලා අන්තිම මොහොතේ ඔන්න ඔහේ යනවා කියල සාදයට ගියා.

උත්සව ශාලාවට ඇතුල් වුන ගමන් ම මම දැකපු දේ තමයි, මා හැර අනිත් සියලුම අමුත්තන් පැමින සිටියෙ යුවල වශයෙන්. ඒ කියන්නෙ මා හැර සේරම අනිත් අය සිය සැමියා හෝ බිරිඳ සමගින් ඇවිත් හිටියෙ. භෝජන සංග්‍රහය පටන් ගන්න කලින් අමුත්තන් අතර හිටිය පිරිමි කෙනෙක් නැගිටලා යෝජනාවක් ඉදිරිපත් කලා.


ඒ යෝජනාව තමයි අපි එකිනෙකා හඳුන්වා දිය යුතු බව. මටත් එක පාරටම හිතුනේ මේක හොඳ අදහසක් කියලා, ඒ මොකද මමත් එතනට ඇවිත් හිටිය එක්කෙනෙක් වත් අඳුරන්නෙ නැති නිසා. ඔහු තවදුරටත් කිව්වා මෙතැන් ඉන්න යුවල සෑම දෙනාම තමන්ගේ බිරිඳ හෝ සැමියා  හමු වුනේ කෙසේද යන්නත් පැවසිය යුතුයි කියල.

එතකොට තමයි මට දැනෙන්න පටන් ගත්තෙ මේකට එන්න ගත්තු තීරණය එච්චර හොඳ එකක් නෙවේ කියල. මොනව කරන්නද, මමත් හිනාවක් මවා ගෙන ඔවුන් ට සවන් දුන්නා, ඇස් වලින් කඳුලු නොආවට මම හිතින් හඬා වැටුණා.

ඉතින් ඇවිත් හිටිය අය තමන්ගේ වාරයේ දි ඔවුන් මුන ගැසුනු හැටි කිව්ව. ටිකෙන් ටික මගෙ වාරයත් එලඹෙන්න ඔන්න මෙන්න වගේ. මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා. ඒ අතරේ මම හොරැහින් දැක්කා, ඇවිත් හිටිය එක් තරුණ යුවලක පිරිමියෙක් මා දිහා බලන් ඉන්නවා. මම ඔහුව වත් ඔහු ගේ බිරිඳ වත් කලින් දැකලා නැහැ. මමත් ඔහුව දුටු බවක් හැඟවූවේ නැහැ. මම හිතන්නෙ ඔහුට තේරෙන්න ඇති මම තමයි එතනට තනිව ඇවිත් හිටිය එකම කාන්තාව කියලා. මම හිතුවේ ඔහු දන්නෙ වත් නැතිව ඇති මම වැන්ඳඹුවක් බව කියල.


ඊලඟට ආවේ ඒ තරුණයා ගේ සහ ඔහුගේ බිරිඳගේ වාරය. මම හිටියේ දෙගිඩියාවකින්. මගේ වාරයේදි මම මොනවද කියන්නෙ? මට කියාගන්න පුලුවන් වේද? මගේ හිස කැරකෙනවා වගේ මට දැනුනේ. 

මම හීනෙකින් වත් හිතුවේ නැති දෙයක් සිද්ද වුනේ ඒ වෙලාවේ. අර තරුණයා නැගිටලා එයාව සහ එයාගේ බිරිඳව හඳුන්වලා දුන්න.  ඊට පස්සෙ එක වරම මගේ දිහාවට හැරිල අත දික් කරලා මාව පෙන්වල කිව්ව ඔවුන්ගේ මිතුරියක් වන මාව ඒ උත්සවයට ගෙන්වා ගන්නට ලැබීම මොන තරම් සතුටුදායක කරුණක් ද කියලා. මට දැනුනේ පුදුමාකාර සතුටක්. ඒ තරුණයා මාව බේරා ගත්තා... මට සිතුනා එක වරම ඔහුව වැලඳ ගන්නට!!


ඉතින් කවුරුවත් මගෙන් හඳුන්වා දීමක් බලාපොරොත්තු වුනේ නැහැ! අර තරුණයා මාව ඔවුන්ගේ 'මිතුරියක්'' ලෙස හඳුන්වා දුන් නිසා තවදුරටත් මගෙන් හඳුන්වාදීමක් වුවමනා වුනේ නැහැ. මාව අත් හැරලා හඳුන්වාදීම් කෙරීගෙන ගියා.

එයින් පසුව සාදයේ දී වෙනත් ගැටලුවක් ඇති වුනේ නැහැ. සාදය අවසන් වෙලා කට්ටිය සමු ගනිද්දි මම අර තරුණයා ට අතට අත දීල ස්තුති කලා, මාව ලොකු කරදරයකින් බේරා ගත්තාට.


මේ සිදුවීමෙන් පස්සෙ මට ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න ආත්ම ශක්තිය ලැබුණා. මම ආරාධනා ලැබුනු ඕනෑම ප්‍රිය සම්භාෂණයකට යන්න මැළි වුනෙත් නැහැ."

ඉතින් යාලුවනේ, ඔයාලා මොකක් ද මේ ගැන හිතන්නෙ? මේ වගේ අය අපේ සමජයෙත් ඉන්නවද? මේ දේ ඔබට හෝ මටත් වෙන්න පුලුවනි නේද? එතකොට අපිට මොනවා හිතේවි ද? ඔබත් අර තරුණයා කල දේ කරනවාද?

ඔබේ සිතට දැනෙන දේ කොමෙන්ටුවකින් අකුරු කරන්නයි මේ ඇරයුම!! :)

Saturday, October 13, 2012

මගේ බ්ලොග් අඩවිය

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොගයක් ලියන්න පටන් ගත්තා. මෙක ගොඩ කාලයක ඉඳලා මගේ හිතේ තිබ්බ අදහසක්, නමුත් වැඩ රාජකාරි යෙදුන නිසා ටිකෙන් ටික කල් ගියා.

"ගවේශකයා" මගේ කුළුඳුල් බ්ලොගයයි. නමෙන් කියවෙන විදියටම මම තොරතුරු සහ දැනුම ගවේශණය කරන්නෙක්. ඉතින් මේ තොරතුරු ගවේශණයෙදි මගෙ කනට ඇහෙන, ඇසට පෙනෙන දේ ඔබත් සමග බෙදා හදා ගැනීමේ අරමුණෙන් තමයි මම බ්ලොග් අවකාශයට ආවේ.

කාලීන සිදුවීම්, කලාව, සාහිත්‍යය, දේශපාලනය, ශ්‍රී ලාංකීය ඉතිහාසය ආදී මෙකී නොකී සියල්ල ගැන හර බර ලිපි පෙලක් ඉදිරියේ දී මේ බ්ලොග් අඩවියේ ලියවේවි. නමුත් මම වඩාත් ම කැමති ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයකට වඩා, කාටත් තේරෙන විදියට සරල බස් වහරකින් ඔබත් එක්ක සංවාදයේ යෙදෙන්න.

ඉතින් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියනි, එක් වන්න මා සමග!