Monday, December 24, 2012

ලොව වටා මැතිවරණ හා බැඳි සුවිශේෂී තොරතුරු

ටික කාලෙකට පස්සෙ ඔන්න මම ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. අද මම ලියන්න යන්නෙ ලොව වටා මැතිවරණ හා බැඳුනු විශේෂ තොරතුරු ටිකක්.
 
මැතිවරණ ගැන කියනක්කොට මෑතකදි වැඩිපුරම කතා බහට ලක් වුනේ ජපානයේ තිබුණු මහ මැතිවරණය සහ අමෙරිකාවේ ජනාධිපතිවරණයයි. නමුත් මගේ සටහන ඒ ගැන නොවේ.
මැතිවරණ, නො එසේ නම් ඡන්ද ගැන කතා කරනකොට මුලින් ම මගේ මතකයට එන්නෙ අපෙ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව තමයි බහු පක්ෂ ක්‍රමය අනුව ඉහලම ඡන්ද දායකයන් ගණනක් සිටින රට. උදාහරණයක් විදියට 1991 වසරේ ඉන්දියාවේ ලෝක් සභාවට ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරාගැනීමට පැවති මහා මැතිවරණයේ දී ඡන්ද දායකයන් 315439908 ක්  (තිස් එක් කෝටි පනස් හතර ලක්ෂ තිස් නමදහස් නමසිය අටක්) ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවා.
 
 
S. W. R. D. Bandaranaike - Image from luisgranados.com
 
මැතිවරණයකට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙක් ම උත්සාහ දරන්නෙ ජයගන්නයි. ඇතම් අය ජයග්‍රහණය ලබන්නේ වාර්තා පිට වාර්තා තබමින්. වාර්තාගත ජයග්‍රහණ වලට හොඳ ම උදාහරණය විදියට මගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාවේ සිවු වන අගමැති තුමා වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක මැතිතුමාව. එතුමා තමයි මැතිවරණ කොට්ටාසයක ප්‍රකාශිත වලංගු ඡන්ද ගණනින් වැඩිම ප්‍රතිශතයක් ලබා ගෙන තියෙන්නේ. ඒ 1956 දී අත්තනගල්ල මැතිවරණ කොට්ටාසයෙන් මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 91.82% ක් ලබා ජය වාර්තා කිරීමෙන්.
 
ඒ වගේම අපේ අසල්වැසි ඉන්දියාවේ 1962 වසරේ පැවති මහා මැතිවරණයෙන් ඉහලම වැඩි ඡන්ද ගණනකින් ජයිපූර් ආසනය ජයගත් සුප්‍රකට ගයාත්‍රී දේවි මැතිණිය ගැනත් මෙහිදී සඳහන් කල යුතුයි. 60 දශකයේ දී මෙය ලෝක වාර්තාවක් විදියට පැවතුණත් 1977 වසරේ බිහාරයේ හජ්පූර් අසුන ජයගත් රාම් දිලෝන් මහතා විසින් එම වාර්තාව බිඳ දැමුවා.
 
 
 
ලෝකයේ පැවති මැතිවරණ වලින් ඉතාම තියුණු තරඟයක් පැවති මැතිවරණය ලෙස වාර්තා ගත වී ඇත්තේ වර්තමාන ටැන්සානියාවේ කොටසක් වන සැන්සිබාරයට අයත් පෙම්බා දූපතේ 1961 දී පැවති මැතිවරණයයි. එම ආසනය ජයගත් අපේක්ෂකයා ජය ගත්තේ වැඩි ඡන්ද එකකින් !!!
 
දැන් අපි නැවතත් ශ්‍රී ලංකාව පැත්තට හැරෙමු. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වැදගත් ම සිද්දිය තමයි 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීම. වරප්‍රසාද ලැබූ සීමිත පිරිසකට පැවති ඡන්ද බලය බහුතරයකට ලැබුනාට පස්සෙ තිබුන ප්‍රථම ඡන්ද විමසීම තිබුණේ 1931 ජුනි 29 වෙනිදායි. ඒ මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 50 ක් තෝරා ගැණුනා. එම මැතිවරණයෙන් රුවන්වැල්ල ආසණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තිරී පත් වුනේ ජේ. එච් මීදෙනිය මහතායි. එතුමා තමයි වර්තමාන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ මව් පස මුත්තණුවන්. නමුත් අවාසනාවන්ත විදියට එතුමා මාස කිහිපයක් ඇතුලත මිය පරලොව යෑම නිස 1931 නොවැම්බර් 14 දින අතුරු මැතිවරණයක් පැවත්වුනා. එම මැතිවරණයෙන් හිස් අසුනට තේරී පත් වුනෙ එතුමාගේ දියණිය වන ඇඩ්ලින් මොලමුරේ මැතිණියයි. රාජ්ය මන්ත්‍රණ සභාවට එක් වූ ප්‍රතම කාන්තාව ලෙස ඇය ඉතිහාස ගත වනවා.
 
මූලාශ්‍ර :-
 
1. Gunawardena, C. A., The Encyclopaedia of Sri Lanka, 2006 Edition (New Dawn Press).
 
 
 

6 comments:

  1. නියමයි!
    ඔය කියන සැන්සිබාර් ඡන්දයේ තවත් කතාවක් තියෙනවා. ඒ ඡන්දය දිනාපු පක්ෂය ඡන්දය දිනුවෙත් එක ආසනයකින්. එයාලා ආසන 10ක් දිනද්දී අනික් ප්‍රධාන පක්ෂය ආසන 9ක් දිනුවා.
    ඒ වුනත් තවත් පක්ෂයකට ආසන තුනක් ලැබුනා. අන්තිමට කාටවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වීමෙන් අලුත් ඡන්දයක් තියන්න වුනා.
    මේ සිද්ධිය වුනේ 1961 අවුරුද්දේ.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි එකතු කිරීමට...

    ඒ ගැන ලියන්නකෝ ලිපියක් ;)

    ReplyDelete
  3. දැනුමට කරුණු ගොඩක් එකතු කර ගත්තා මේක කියවල..
    ආ.. සුබ නව වසරක් වේවා ඔබට..!
    (කමෙන්ට් වල වෙරිෆිකේෂන් අයින් කළා නම් හොඳයි කියල හිතෙනවා. Dashboard > settings > post & comment > show ward verification > No)

    ReplyDelete
  4. ඔබව සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට :)

    බොහොම ස්තුතියි , මම දැන් Word Verification ඉවත් කළා.

    ඔබටත් සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  5. හ්ම්...හොද ලිපියක්.කොහොම උනත් මට අමතක වෙලා තිබ්බ එක තොරතුරත් ඔබ මතක් කලා.ඒ පෙම්බා වල සිදුවීම.ස්තූතියි ඈ.දිගටම ලියන්න.අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට :) බොහොම ස්තුතියි මාව දිරිමත් කළාට :)

      මට මතක විදියට වැඩි චන්ද එකකින් 1961 මැතිවරණය ජය ගත්තේ සැන්සිබාරයේ ශයිරාසී (Afro - Shirazi Swahili) පක්ෂය. ඔවුන් නියෝජනය කරන්නේ පෙම්බා දිවයිනේ සුන්නි ඉස්ලාම් දහම අදහන ජනතාව.

      Delete