Tuesday, February 5, 2013

නොබෙල් සාහිත්‍ය සම්මාන දිනූ පළමු චීන ජාතිකයා : මෝ යැන්

අද මම කියන්න යන්නේ පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ මෝ යැන් ගැනයි. ඔහු තමයි නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබූ (චීනයේ වාසය කරන ) පළමු චීන ජාතිකයා. වසර 2000 දී ගඕ ෂිංජියැංග් (Gao Xingjian ) නමැති චීන ජාතිකයා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවත් ඔහු චීනයේ ඉපිද ප්‍රංශයට සංක්‍රමණය වූ අයෙක්.

චීන සාහිත්‍යය ගැන ලෝකය පුරා ප්‍රචලිත ව තිබුණත්, මෑත කාලයේදී ලෝක වාසීන් චීන සාහිත්‍ය
ගැන උනන්දු වන්නට පටන් ගත්තේ මෝ යැන් නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගයි.


                                       Mo Yan - Image From  Wikimedia Commons

මෝ යැන් කියන්නේ ඔහුගේ අන්වර්ථ නාමයයි. එහි තේරුම චීන බසින් "කතා නොකරන්න" (Don't speak) යන්නයි.ඔහුගේ සැබෑ නම තමයි ගුවෑන් මෝ (Guan Moye). ඔහු ඉපදුනේ 1955 වසරේ චීනයේ ෂැංඩොන්ග් (Shandong) ප්‍රදේශයේ ගාවොමී (Gaomi) කියන පිටිසර ගම්මානයේයි.

අද වන විට ඔහු ලෝක ප්‍රකට චරිතයක් වුනත්  ඔහුගේ ළමා කාලය නම් ඒ තරම් සුන්දර එකක් වුනේ නැහැ. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම කලේ ගොවිතැන. පවුලෙ අගහිඟකම් නිසාම මෝ යැන් ට වයස අවුරුදු 12ක් වෙද්දී ඔහුගේ පාසැල් ගමන නතර වුනා.

පුංචි කාලයේ සිටම ඔහුට පොත් කියවීමට දැඩි ඇල්මක් තිබුනා. පාසල් ගමන අතරමග නැවතුනත් ඔහුගේ පොත් කියවීමේ රුචිය නම් අඩු වුණේ නැහැ. ඇතැම් අවස්ථා වල ඔහුට පොත් මිලදී ගන්නට මුදල් නැති වුණා. ඒත් ඔහු සැළුණේ නැහැ. පොත් ගන්නට මුදල් නොමැති වූ විට, ඔහු ගමේ අයගේ කුඹුරු වල වැඩ කරලා ඒ වෙනවට ගාස්තුව ලෙස පොත් ගන්නට කුඹුරු හිමියන් එකඟ කරවා ගත්තා. පුලුවන් තරම් පොත් කියවලා අවසානයේ ඔහුට කියවන්නට පොතක් නොමැති වුණාම ඔහු චීන ශබ්ද කෝෂ පවා කියෙව්වා. ඔහු ශබ්ද කෝෂ කියවූ වාර ගණන කොතෙක් ද කියනවා නම් ඔහු ට ඒවායේ වැරදි පවා සොයා ගන්නට හැකි වුණා.

ඔහු තරුණ වියට එලඹුණු පසු 1976 දී ඔහු සුප්‍රකට චීන රතු හමුදාවට (People's Liberation Army) බැඳුනා. ඒ වන විටත් ඔහුගේ විනෝදාංශය වූයේ පොත් කියවීම. මේ කාලය තුල ඔහුට ලෝක ප්‍රකට ගත් කතුවරුන් වන ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සහ විලියම් ෆෝක්නර් වැන්නන් ගේ කෘති වල පරිවර්තන කියවීමට ලැබුනා. රතු හමුදාවේ ඉන්න කාලය අතරතුරදී ඔහුගේ මුල්ම කෘතිය වන "Falling Rain and Spring Night" එළිදැක්වුණා. ඒ 1981 වසරේ දී.

චීන හමුදවේ කලා පාසලෙන් ඔහු උපාධිය පවා ලබා ගත්තා .එමෙන් ම පසු කාලයක දී බෙයිජින්ග් විශ්ව විද්යාලයෙන් සාහතිය අංශයේ ශාස්ත්‍රපති උපාදියත් සම්පූර්ණ කර ගත්තා.

දැනට 57 වන වියේ පසුවන මෝ යැන් ගේ කතා බොහෝමයක් ගෙතී ඇත්තේ චීන ගැමි දිවිය සහ ජනකතා සමග ඉන්ද්‍රජාලික සිදුවීම් මුසු වීමෙනුයි. ඔහුගේ වඩාත්ම ජනප්‍රිය පොත තමයි "රතු සෝගම්" (Red Sorghum Clan). මෙම කෘතියේ කියවෙන්නෙ 1925 ත් 1976 ත් අතර තුර කාලයේ දී ෂැංඩොන්ග් ප්‍රදේශයේ ජීවත් වූ පවුලක පරම්පරා කිහිපයක් ගැනයි. එහි කතාපුවත සිනමාවට පවා නැගුණා. මෝ යැන් ගේ තවත් සුවිශේෂී කෘතීන් ලෙස 1988 දී ප්‍රකාශයට පත් වූ "The Garlic Ballards", 2010 දී පළ වූ "Change" දැක්විය හැකියි.

මෝ යැන් ට නොබෙල් ත්‍යාගය හිමි වීමත් සමගම ඔහුගේ කෘති වලට දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන්නා සේම ඔහුගේ කෘති ඉලෙක්ට්‍රොනික සංස්කරණ බවට හැරවීමට දුරකතන සහ අන්තර්ජාල සේවා සමාගම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා. එමෙන්ම ඔහුගේ කෘතීන් සිනමාවට එක් කිරීමට ලෝක ප්‍රකට චිත්‍රපට සමාගම් පවා කැමත්ත පළකොට අති බව අසන්නට ලැබුණා

12 comments:

  1. මෝ යැන් මෙහෙම කිව්වලු.තමා ලියන්නේ මිනිස් ජීවිත තුල ගැබ් වී ඇති නියම අරුත බවත් ඒකට දේශ සීම හෝ ඒවායේ ජීවත් වන මිනිසුන් ගැන වෙන විදිහකට නොසිතූ බවත් ඒත් චීන ජන සාහිත්‍යය තමාගේ මනස කා වැදී ඇති බවත් කියලා.මට හරියටම මතක නෑ ඒ වචන ටික.හොද ලිපියක් යාළුවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ... වටිනා එකතු කිරීමක් :)

      Delete
  2. අගනා ලිපියක්. තොරතුරු වලට ස්තුතියි සහෝ.. ජය..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතිය් සහෝ.. :)

      කාලෙකින් ඒ පැත්තෙ එන්නත් බැරි වුනා :S

      Delete
  3. ඔහු පොත් කියවන්න විඳපු දුක ඇහුවාම, ඕනෑම දේකට ඇත්තටම හිතේ කැමැත්තක් තියෙනව නම් ආර්ථික අපහසුතා විතරක් නෙවෙයි මොන බාධකයක් ආවත් ඒ දේවල් ජයගන්න පුලුවන් කියන පාඩමත් ඉගෙන ගන්න පුලුවන්.

    වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. අනිවා.. හරියටම හරි :)

      අපි සුප්‍රකට චරිත ගැන හදාරනවා වාගේම ඒ අයගේ ජීවිත කතා තුලින් අපේ ජීවිතයට එකතු කරගත හැකි දේ ගැනීමත් අවශ්‍යයි. ඒ තුළින් අපේ ජීවිත වඩාත් සාර්ථක කර ගන්න පුළුවන්.

      ස්තුතියි අගය කිරීම වෙනුවෙන්...

      Delete
  4. හොද ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සමනළී :)

      Delete
  5. ඔව්. මට පසුගිය දිනවල දැනගන්න ලැබුනා චූලානන්ද සමරනායක මෝයැන්ග් "The Red Sorghum" නවකතාව "රතු සෝගම්" ලෙසින් පරිවර්තන ප්‍රකාශනයක් කළ බව. කියවන්නනම් අවස්ථාවක් තවම ලැබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට :)

      ඔව්. ඒ ගැන බූන්දි අඩවියේ ලිපියක් තිබුනා දැක්කා..

      Delete