Tuesday, January 8, 2013

නේපාලයේ ෂර්පාවරුන්ට "බුරා සහීම්" වුණු ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි

මෙම ජනවාරි 11 දිනට යෙදෙන සර් එඩ්මන්ඩ් හිලරි ගේ පස් වන ගුණ සමරුව  වෙනුවෙන් මේ ලිපිය ලියන්නට සිතුනා.

අපි හැමෝම දන්නවා සර් එඩ්මන්ඩ් හිලරි ලෝක ප්‍රසිද්ධ වුනේ ලොව උසම කන්ද වන හිමාලය අඩවියේ එවරස්ට් කඳු මුදුන මුල් වරට තරණය කිරීමෙන්. සර් හිලරි මේ හපන්කම කළේ 1953 වසරේ මැයි 29 වන දා, ටෙන්සිංග් නෝර්ගේ නැමති ෂර්පාවරයා සමගයි.


 
සර් හිලරි සහ ටෙන්සිංගේ මේ හපන්කම ගැන හැමෝම කතා කළත් සර් හිලරි වෙතින් ෂර්පාවරුන්ට සිදුවූ සේවාව, එනම් තමාට ලෝක වාර්තාවක් තැබීමට උදව් කළ කඩිසර, අතිදක්ෂ එහෙත් නොදියුණු ජන කොට්ටාසයකට ඔහුගේ "කළගුණ සැලකීම" ගැන කතා නොකරන තරම්. මගේ මේ ලිපියේ අරමුණ ඒ ගැන තොරතුරු බිඳක් ඉදිරිපත් කිරීමයි.
 
සර් හිලරි ගේ සිතේ ෂර්පා වැසියන් ගැන පැවතුනේ පුදුමාකාර ලෙංගතුකමක්. ඔහු තමන්ගේ දෑසින්ම දුටුවා ඔවුන්ට තිබුණු දුෂ්කරතා මොනවාද කියලා. ෂර්පාවරුන්ට හරියාකාර මංමාවත් තිබුනේ නැහැ. ඒ වගේම බොන්නට පිරිසිදු ජලය පවා තිබුනේ නැහැ. සර් හිලරි දැක්කා දිනපතාම ෂර්පා කාන්තාවන් වතුර ගෙනෙන්නට සැතපුම් ගණන් පයින් ඇවිද යන ආකාරය. ඔහු නිතරම සිතුවේ මේ ගැටලු විසඳන්නට ඔහුට කළ හැක්කේ කුමක් ද කියායි.
 
මේ වෙනුවෙන් ඔහුට කළ හැකි දේ කරන්නට ඔහු මුල් පියවර තැබුවේ හැටේ දශකය මුල දී "හිමාලයානු පදනම" (The Himalayan Trust) පිහිටුවීමෙන්. ඒ හරහා ඔහු ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන හා එක්වී ඔහු ම්ංමාවත් පිළිසකර කෙරෙව්වා. පානීය ජල පහසුකම් ඉදි කළා. එසේම ඔහුගේ මව් රට වුණු නවසීලන්තයේ ඔහුගේ මිතුරන් මෙන්ම ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල සුබ පතන්නන් ගෙන් මූල්‍ය සහ ද්‍රව්‍යමය උපකාර ලබා ගත්තා. මේ විදියට ඔහුට හැකි උපරිමයෙන් යටිතල පහසුකම් දියුණු කළා.
 
සර් හිලරි එයින් නැවතුනේ නැහැ. ෂර්පා ජාතික පාසල් යන වයසේ දරුවන් වෙනුවෙන් සුදුසු පාසලක් තිබුනේ නැති නිසා ඔහු තම මිතුරන් හරහා මුදල් සොයා ගෙන 1962 වසර අවසානය වන විට හිමල කඳු පාමුල කුම්ජුංග් (Khumjung School) යන ස්ථානයේ පාසලක් ඉදිකළා. ඔහුගේ එම ක්‍රියාව ෂර්පා දරුවන්ගේ නුවණ පෑදීමට ලොකු උපකාරයක් වුනා. ඔහු එතැනින් නොනැවතී මෙහි පාසලට එන ගුරුවරුන්ට තමන්ගේ වියදමින් දුෂ්කර සේවා දීමනාවක් පවා ගෙව්වා. මෙම පාසල් වලින් දක්ෂ සිසුන් තෝරාගෙන ඔවුන්ට උසස් අද්‍යාපන ශිෂ්‍යත්ව  සකස් කර දුන්නා.
 
 
Khumjung School - Nepal (Image taken from here)
 



එපමණක් නොවේ, සර් හිලරි ෂර්පා ජාතිකයන් ගේ සෞඛ්‍ය තත්වය උසස් කරන්නට 1966 දී කුන්ඩේ නගරයේ (Kunde) රෝහලක් ඉදි කළා. ඒ සඳහා නවීන පහසුකම් ලබාදුන්නා. ඔහුගේ නොපසුබට උතසාහයේ ප්‍රතිපලයක් විදියට ඇතම් බටහිර වෛද්‍යවරු පවා ස්වෙච්ඡාවෙන් මෙම රෝහලේ සේවයට ආවා. සර් හිලරි මෙම රෝහල මගින් ෂර්පාවරුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දුන් අතරේ ම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළා. ඒ සමගම ඇතැම් බෝවන රෝග යක්ෂයා විසින් ඇති කරන්නේ යයි සමාජයේ තිබුණු මිත්‍යා මත දුරු වුණා.

 
 
සර් හිලරිගේ මෙම සමාජ සේවා කටයුතු හේතුවෙන් ෂර්පා ජාතිකයන් අදත් ඔහු ට ගරු කරනවා. ඒ නිසාම ඔවුන් ඔහුව අමතන්නේ "බුරා සහීම්" (ලොකු මහත්තයා) යන නමින්. එමෙන්ම 2008 වසරේ ඔහු මෙලොව හැර ගිය ජනවාරි 11 වන දින ඔහුගේ මව් රට වුණු නවසීලන්තයේ ජනතාව පවා ජාතික කොඩිය අඩකුඹු කිරීමෙන් ඔහුට ගෞරවය පුද කළා.
 


16 comments:

  1. මම අහල තියෙන විදියට මුලින්ම කන්දට නැග්ගේ ටෙන්සින්ග්. ඒ වුනාට නම ගියේ හිලරි ගේ.
    ඒ කතාව ඇත්ත නම් ඒ වගේ ජා. කු. වලට අපි අහු වෙන්න කලින් ටිකක් කල්පනා කරන්න ඕන. :-P

    ReplyDelete
    Replies
    1. ජා. කු. = ජාත්‍යන්තර කුමන්ත්‍රණය ද? :D

      Delete
  2. ඔතනදී ටෙන්සින්ග් ධෛර්ය සම්පන්න මිනිසෙක්.දුගී දුප්පත්ව ඉදලා තමා ලෝක ප්‍රසිද්ධ උනේ.හින්දි,පන්ජාබ්,ඉංග්‍රීසි වගේ භාෂා ඔහු දැනගෙන හිටියත් අකුරු ලියන්න දන්නේ නැතිලු.
    තව සිද්දියක් මතක් උනා.හිලරිගේ බිරිදයි දියණියයි මිය ගියේ ඔය රෝහල සැදීමට ආධාර එකතු කරන්න යද්දිලු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එකතු කිරීමට.. මමත් ඔය කතාව අහලා තියෙනවා...
      සර් හිලරි ගේ බිරිඳ සහ දියණිය මිය ගියේ නේපාලයට එද්දී සිදු වූ ගුවන් අනතුරකින් කියලයි මට මතක..

      Delete
  3. ආ.. කියන්න බැරි උනා.මේ වගේ ලෝක තොරතුරු හොයා යන තව බ්ලොග් එකක් හම්බ වෙච්චි එක ගැන මං ගොඩක් සතුටු වෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කිරීම වෙනුවෙන්... ඔබේ බ්ලොග් එකෙත් හොඳ ලිපි ගොඩාක් තියෙනවා දැක්කා...මන් හිමින් සැරේ කියවලා කොමෙන්ටුවක් එහෙම දාන්නම් කො :)

      Delete
  4. මමත් අහල තියන විදිහට මුදුනට ගියේ ටෙන්සින්. ඔහුට ඒකෙ ඒ තරම් ගාණක් නොවුනද දන්නෙත් නෑනේ. මොනවා උනත් හිලරි ගෙ සේවය නම් විශිෂ්ඨයි. මේ විස්තරය වටිනවා හුඟක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චන්දන :)

      Delete
  5. හ්ම්ම්ම් මමත් අහලා තියෙනවා මෙතුමා ගැන. බොහොම වැදගත් ලිපියක්

    ReplyDelete
  6. ආයුබෝවන්ඩ කෝරලේ මහත්තයෝ..

    සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුතියි ඔබට :)

    ReplyDelete
  7. බොහොම වැදගත් ලිපියක් ගවේශකයා.... නොදන්නා කරුණු ඉගෙන ගත්තා...
    හිලරිගේ සමාජ සේවය අගය කල යුතුයි...

    අද තමයි මම මේ ලිපි ටික කියවන්න ගත්තේ....මුල ඒවත් වෙලාවේ හැටියට බලන්නම්.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)

      බොහෝම ස්තුතියි !! දෙයක් අලුතෙන් ඉගෙන ගන්නට කෙනෙක් ට උදව් වීම ට හැකි වීම සතුටක් :)
      අනිත් ඒවත් හිමින් සැරේ කියවන්නකෝ...

      Delete
  8. ගොඩක් වෙලාවට අපි දකින්නෙ කෙනෙක්ගෙන් උදව් අරන් ඊට පස්සෙ එයාලව අමතක කරන අයනෙ. එහෙම මිනිස්සු අතරෙ සර් හිලරි වගේ අයගෙ මේ වගේ ක්‍රියාවන් ඇත්තටම අගය කරන්න ඕන. මම නම් මේ ගැන මේ තරම් විස්තරයක් දැනගත්තෙ අද. ගොඩක් වදගත් ලිපියක් ගවේශකයා:)

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් Chams (නම හරි නේද :))
      සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ බ්ලොග් එකට... :)

      ඔව්. ගොඩාක් අය කරන්නෙ නැගපු ඉනිමගට පයින් ගහන එක නෙ :S ඒත් ඒ අතරෙ කළගුණ දන්න හොඳ අයත් ඉන්නවා...

      බොහෝම ස්තුතියි...ආයෙත් වෙලාවක එන්නකො මේ පැත්තෙ :)

      Delete
    2. මගෙ බ්ලොගෙ එකෙ දාල තිබුනු කමෙන්ට් එක හරහා ආවෙ..
      බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

      Delete
    3. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... ආයුබෝවේවා :)

      බොහෝම ස්තුතියි දිරිමත් කිරීම වෙනුවෙන්

      Delete